Search This Blog

Monday, 9 October 2017

වැරදීම




දේවයන්වහන්ස
මේක වැරදීමක්

අදත් පාර වැරදුණී
හෙටත් ඒ වගේම විය හැකී
ඊයේ සිදුවූ වැරදිලී
ඔයාම කීවත් නැහැ හරී

වංගුවංගු පෙනිපෙනී
මංමාවත් ළඟ නැවතිලී
ඇසූ තරම් හැරුණත් මදී
ඒත් පාර වැරදුණී

ඔයා කියන පාරෙන් හැරී
ආවේ කරමින් විමසිලී
ඒත් මඟදි වෙනතක හැරී
ගියත් කොහොම හරි වැරදුණී

Monday, 21 August 2017

ගීතය ගැන අවුලක්



ගීතය පණිවිඩ හෝ උපදේශ දෙන මාධ්‍යයක්ද?

දේවයන් වහන්ස. මේ අවුල ලිහා ගන්න අදහසක් ආවේ 2017.08. 20 වැනිදා, ඉරිදා කොළඹ බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණ අප සහෝදර බණ්ඩාර ඇහැළියගොඩට උපහාර පිණිස පැවැත්වූ ' අසිරිමත් රාත්‍රීයේදීයි.
සෞන්දර්යය කියන්නේ අංග 4ක එකතුවක්. චිත්‍රහා මූර්ති, සංගීතය, නර්තනය, නාටක හා රංග කලාව සහ සාහිත්‍යයයි. සිනමාවත් රූප රචනා පැත්තෙන් අපට එක්කර ගන්න පුළුවනි.
මේ අතරින් සංගීතය තුළ හැඩ සංවිධාන වී සුසර වී උපදින්නේ නාද සිත්තමක්. ඒ නාද සිත්තමට සුමියුරු කඩහඬින් සුගායනීය වදන් එක්වූ විට ඇති වන්නේ අර්ථ සෞන්දර්යයක්. නමුත් අපේ රටේ ගේය පද රචක රචිකාවන් රසික සමූහයාගේ හැඟීම් සුසර කරන. අනෙකාගේ හෘද සංවේදී වන දැනෙන, හැ‍ඟෙන උත්තම ගණයේ පද සංරචනා ලියා තිබේද? තිබෙන මුත් ඒ ඉතා අල්පවශයෙනි.. නමුත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත මෙයට ඈඳා නොගනිමු දේවයන් වහන්නස මොකෝ ඒවා කතාවේ සමස්තයට ගැළපෙන, රූපරාමුවලට ගැළපෙන ඒවා වන බැවින්.
අපේ රටේ ශුද්ධ කලාවක් නැහැ තමයි. ඒ නිසා හදවතින් විඳින්නන් දුලබයි. අපට ගීත
වර්ග කරන්න පුළුවනි. විරෝධාකල්ප ගී. කම්කරු ගී. ළසෝ ගී. නැළැවිළි ගී. ආගම් ගී. දේශානුරාගී ගී  සංසිද්ධි සහිත ගී ආදී වශයෙනි. බණ්ඩාරගේ ගී බොහොමයක් උපදේශ ගී..  නමුත් ඒවා අමු නැහැ. සෞම්‍යයි. සුගායනීය පද. ඖචිත්‍යයෙන් අනූන සංගීත නොහොත් නාද වර්ණ. ඕනෑනම් සසඳන්න.  මේ  කවුදෝ අසිංහලයකු ලියා ඇති '' මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්..අම්ම එයි කියා....මව් පදවිය ඔබ ලබන ලදී. සිංහලත් මරලා දේවයන් වහන්ස. කරන්න දෙයක් නැහැ. අපි බණ්ඩාර සහ ඒවගේ අනෙක් ප්‍රවීණයනුත් ලියන උපදේශ ගීතම අහමු.


Thursday, 17 August 2017

ස්වරූප නම් වූ සිනමා සිත්තම





පතිරාජගේ ස්වරූප

අපේ අවාසනාවට හරබර කාව්‍යයක් රස විඳීමට බැරි දුහුනන් පිරිච්ච ජන සමාජෙකට ධර්මසේන පතිරාජයන්ගේ ස්වරූප නම් වූ නව්‍ය හා අපූර්ව සිනමා නිර්මාණය බොහෝ ඈතයි දේවයන් වහන්ස..
එය නැරඹූ කෙනෙකුගෙන් එය නරඹුවේ නැති කෙනෙක් ස්වරූප හොඳද කියලා ඇහුවාම චිත්‍රපටය නැරඹූ කෙනා ඇඹරෙන්න ගන්නවා. ඒකට හේතුව ස්වරූප සිනමා සිත්තම හුදු කතන්දරකට එහා ගිය භෞතිකවාදයේත් විඤ්ඤාණවාදයේත් ද්වීඝටනය හන්දයි දේවයන් වහන්ස..මේක ඉපැරණි රුසියානු නවකතාවකින්, ප්‍රංශ ලේඛක ප්‍රාfන්ස් කfප්කාගේ නවකතාව ඇසුරෙන් ලියපු තිරනාටකයක්. ඒ තිරනාටකය ලියලා තියෙන්නෙ ප්‍රකට සාහිත්‍යවේදී එරික් ඉලප්ආරච්චි. ධර්මසේන පතිරාජයන්ගේ සම්මාදමත් ඇතිව. විනයන් සහිත රූප රචනයක් මගින් විඤ්ඤාණය කොනිත්තන ස්වරූප සිත්තමේ කැමරා කෝණ ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්නගේ. සංගීත වර්ණ ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ ගෙන්. ඒ වගේම අද්වීතීය සංස්කරණයකුත් තිබෙනවා. චලන චිත්‍ර රූපාවලියේ ශික්ෂණය ස්වරූප සිනමා සිත්තම  තිබෙනවා  පුරාම දේවයන් වහන්ස..
නමුත් ඒක දුහුනන්ට වහකදුරු. ඒ වුණත් මට නම් හැ‍‍ඟෙන්නේ තිරනාටකය කතාවේ උසම තැනකින් පටන්අරගෙන ඒකට වෙනම හැඩයක් දෙන්න තිබුණා නේද කියලයි දේවයන් වහන්ස..
තවත් කාරණයක් මට කිත්සිරි කිවුවා. ඒ තමයි ලාල් හරීන්ද්‍රනාත්ගෙ කලා අධ්‍යක්ෂණයේ දුබලතාව. චිත්‍රපටයේ හැටියට හර්මන්ගේ කුලී බංගලාවෙ ජනේලෙ ඇරියාම විශාල කුණු කන්දක් පේනවා. එහෙම පේන්න පුළුවන්ද හැබෑට දේවයන් වහන්ස.
අනික ඒ කතාව 1940- 50  තරම් ඈතක ලියූවක්. ඒ කාලෙ අද  කෙලොන්නාවෙ වගේ කුණු කඳු තිබුණද? නැහැනෙ.
චිත්‍රපටයේ ග්‍රෙගරි කුරුමිණියකු බවට පත් වුණත්  ඒ කුරුමිණියාට පවුලේ අයගෙන් තම පුතුට යැයි සැලකුම් හා කෑම බීම යැවුණත් ඒ සතාගේ පැත්තෙන් කිසිම සන්නිවේදනයක් හෝ සංජානනයක්  හෝ එන්නේ නැහැ දේවයන් වහන්ස.. කලා අධ්‍යක්ෂණය චන්ද්‍රගුප්ත තේනුවරගේ යැයි සඳහන් වී තිබුණේ වැරදීමකින් දේවයන් වහන්ස.. සමාවෙන්න

Thursday, 13 July 2017

වයර්



දේවයන් jහන්ස!මෙන්න මෙහෙම දේකුත් තියෙනව
වයර්

කනේ කරේ අතුණුබහන් සේ  ය
මස දියවුණ සැකිලි රුවක පවා වේ  ය
ලොව පෙරැළී විසුණු වුවද තාරුණ්‍යය මේ   ය
නිතර ඇලෙන මුහුණු පොතේ නෑ  ය




Wednesday, 12 July 2017

අනේ රාලහාමි...


රාලහාමිලා නිසා මහපාරෙ ට්‍රැපික්

ඉස්සර වගේ නෙවෙයි දේවයන් වහන්ස! දැන් කාලෙ වාහන වැඩියි. පොදු ප්‍රවාහනේ වළපල්ලට ගියාම තමතමන් වාහන ගන්නව. බොරුවක් නෙමෙයි. තමන් මොන විදිහෙන් හරි හම්බ කරලා මිලදී ගත්ත වාහනේ  මගදි වෙන කවුරුවත් නග්ගාගෙන යන්නෙ අහවල් දේකටයැ. ඒක සමාජෙ තියෙන වහුකුණු කම වෙන්න පුළුවනි. අනෙකා ගැන හොයාබලනේක තුරන්වෙලා ගිහින්නෙ තියෙන්නෙ. සල්ලි හම්බකරලා ලාභරේට්ටුව වැඩිකරගන්නේක නේ දැන් සිද්ධ වෙන්නෙ. අපි මීට කලිනුත් කිවුවා වගේ ආදරය කියන කොන්දේසි විරහිත පරිත්‍යාගයට දැන් කෙළවිලා ගිහින්. සේරම සිද්ධ වෙන්නෙ කොන්දේසි උඩනෙ දේවයන් වහන්ස!
වාහනවලින් පාර පිරුණම ඒවා එහාට මෙහොට තරගන්න කවුරුවත් කැමැති නැත්තෙත් ඒ හින්දානෙ. අන්න එහෙම වෙලාවක තමයි අපට යුනිපෝම්කාර මහත්මයකුගේ අත්උදවුව ඕන කරන්නෙ.  ඒත් ඉතිං ඒකට පැය 24ක්ම මහපාරෙ මුදුනෙ රාජකාරි කරන්න බැහැනෙ. ඒ හන්දාම තමයි පාරෙ මංසන්ධිවල සිග්නල් කණූ සවිකරලා තියෙන්නෙ.  පොලීසියේ රාලහාමි කෙනෙක් නැති වුණත් ඒවා වැඩ. නමුත් දේවයන් වහන්ස!
ට්‍රැපික් රාලහාමියි, සිග්නල් ලයිටුයි දෙකම වැඩ කරන්න පටන් අරන් තියෙන හන්දා එක තැනකට ගාල්කරන වාහන නිසා අමාරුවේ වැටෙන්නේ මගී ජනතාව වන අපිනෙ. අනේ අපේ රාලහාමිලාට කියන්න දේවයන් වහන්ස. පොඩ්ඩක් පැත්තකට වෙලා හැංගිලා බලන්ඉන්න කියලා. එතකොට පෙනේවි සිග්නල් කණුවලට කීකරුව වාහන සීරුමාරු වෙන හැටි. දන්නවනෙ දේවයන් වහන්ස! පාරෙ නීතිය කැඩුවොත් එතැනදිම හොඳ සබ්බුවක් ලැබෙන විත්තිය. එක්කො ඔන්දස්පොට්. නැත්නම් අංග විකල.

කෙහොම වුණත් කෑගහගෙන ගිලන්රථයක් ආවොත් නං රජ්ජුරුවන්ගෙ පිරිච්ච බඩගෙඩියට කෙහෙල් ගෙඩියකුත් යැව්ව වගේ සියලු බාධක මැදින් ඒ ලෙඩාඩ යන්න ලැබෙනව. ඒක ඉතින් නොකර පුළුවනෑ දේවයන් වහන්ස..සමහර රාලහාමිලා අර සිග්නල් කණුවල ලයිටි නිවාදාලා අතින් සිග්නල් දදා වාහන හසුරවනවා මං දැකලා තියෙනව. ඒ මොකෝ දන්නෑ දේවයන් වහන්ස!

Thursday, 6 July 2017

අපූරු පාඩමක්

මැතිවරණ කොමසාරිස් තුමාගේ ලොකු පරිප්පු හොද්ද

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ සුළුතරයට අගතියක් නොකර බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම.
රෑ කැමට පවුලක මවත් පියාත් ලොකු පුතාත් දියණියක් බත් කෑමට ප්‍රිය කරනවා. නමුත් ඒ ගෙදර පොඩි පුතාත් චූටි දියණිත් ප්‍රිය කරන්නේ පාන් කෑමටයි. එනම් මේ පවුලේ බහුතරය බත් කෑමටත්, සුළුතරය පාන් කෑමටත් කැමැතියි.
අම්මා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළේ ලොකු පරිප්පු හොද්දක් හදලයි. කරවල බැදුමකුත් හැදුවා වැඩිපුර ලුණු දමලා

දැන් පාන් කන අයටත් බත් කන අයටත් දෙගොල්ලටම ලොකු පරිප්පු හොද්දක් තියෙනවා. ඒ දෙගොල්ලටම කෑමට හැකි කරවල බැදුමකුත් තියෙනවා දේවයන් වහන්ස.. මේ අපූරු පාඩම කියාදුන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්තයා 2017 ජූනි 26 වැනිදා.

Monday, 3 July 2017

පත්තර ගැන


පත්තරයත් බඩුවක්.


අද සමාජෙ මොන වගේද! මේක ඊනියා ධනේශ්වර සමාජයක් දේවයන් වහන්ස. ඒ කිවුවෙ හැමෝටම සිද්ධ වෙලා තියෙන්නෙ මොනවාහරි විකුණලා තමතමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගන්න. ඔන්න බලන්න දේවයන් වහන්ස..
ගෙදර තියෙන බඩුමුට්ටු , අඳින පලඳින ඇඳුම්, ඇ‍ඟේ දුවන ලේ, ශරීරයේ අභ්‍යන්තර කොටස්, (වකුගඩු වගේ, ඇස් වගේ,) විකුණලා ලාභ ලබනවා., තරගෙට. ගෑනුන්ට නං විකුණන්න ඇඟක් තියෙනව. ඒ අතරෙත් තරගයක් තියෙනව.
අපි හැමෝටම ලේසියෙන් විකුණන්න තියෙන්නෙ ‍්‍ ශ්‍රමය. මේ ශ්‍රමය විකිණිල්ල ටයි එකක් දාගෙන කරන්නත් පුළුවන්, අමුඩෙ ගහගෙන කරන්නත් පුළුවන්. අපි කවුරුත් ශ්‍රමිකයො, කෑලිවලට වැඩ කරන. මාසෙ අන්තිමට ලැබෙන වැටුපෙත් තියෙන්නෙ දවස් කුලී. අපි හැමෝම කරන්නෙ එක වැඩේ නං ඒ කියන්නෙ ශ්‍රමය විකුණනඑක නම් ඇයි කෙළගැනිලි. කෙළගන්නව නම් කියන්න ඕන වෙන දෙයක් නෙමෙයි. දීමනා ලැබීමේ විසමතාව ගැන. එහෙම නේද දේවයන් වහන්ස. "තොට වැඩි පඩි. මට අඩු පඩි."
මේ ඊනියා( අසම්පූර්ණ) ධනේශ්වරය නිසා තමයි තමතමන්ගෙ පෙට්ටවලට තමතමන්ම ඇණ ගහගෙන ජීවිතේ ගෙනියන්නෙ, අනුන්ට කෙළ වුණත් මොකෝ කියලා.
මේ නිසා අප කාටවත් පඨිසෝතගාමී වෙන්න බැහැ. ණය තුරුස් වෙවී ජීවිතය ඉදිරියට තල්ලු නරන්නයි වෙලා තියෙන්නෙ දේවයන් වහන්ස..
පාරිභෝගිකයන් කොටසකුත් මේ අතර ඉන්නවා. ඔවුන් යම්යම් දේ  සිල්ලරේට විකුණන්නෙ වෙළෙන්න්ගෙ ගොදුරු බවට පත්වෙලා. ඒ කියන්නේ දෙගොල්ලම පීනනවා. හැබැයි ලොකු එකා පොඩි එකාව ගොදුරු කරගන්නව.

අද ඉන්න තරමක් ඉන්නෙ මුදලාලිලා. උන්ගෙ සල්ලි ඕපපාතිකයි. ඇතැම් විට කළු සල්ලි සුදු කරලා වෙන්නත් පුළුවනි. ඒ මුදලාලිලා තමයි අද කෙරුමො. උන් අත තමයි අද ජනමාධ්‍යයත් තියෙන්නෙ. උන්ට ඕන කරන්නෙ ජනතාව ගොඩගන්න පත්තර නෙමෙයි. බඩුවක් නිෂ්පාදනය කරන්නෙ. උන්ට අනුව පත්තරෙත් බඩුවත් ලාභ ඉපැයීමේ තරගයට අවතීර්ණ වුණු.

Thursday, 29 June 2017

ඇස් මානෙට බාධාව



බස්එක ඇතුළෙ ඇස් මානෙට බාධාව

අපේ රටේ ප්‍රයිවට් බස්වල ඩ්‍රැයිවර්, වාහනේ පදවන සීට්ටෙක පිටිපස්සෙ වීදුරු තහඩුවක් තියෙනව. බස් කොම්පැනියෙන් ඒක වීදුරුම කරලා හදලා එවලා තියෙන්නෙ හේතුවක් ඇතුව. ඒ කාරණේ කාටවත් තේරෙන්නෙ නෑ දේවයන් වහන්ස.
වීදුරුම වෙන්න හේතුව තමයි ඒකට පිටිපස්සෙ තියෙන ආසනේ වාඩි වෙන කාට වුණත් වීදුරු තහඩුව හරහා  ඉදිරිය   විනිවිද පේන්න සැලැස්වීම. ඒක එක විදිහක විද්‍යාත්මක කාරණයක් දේවයන් වහන්ස. ඕනෑම ඇස් දොස්තර කෙනක් ළඟට ගියොත් ඒක යසට කියලා දේවි..
අපේ ඇස්දෙක හැම තිස්සෙම පුරුදු වෙලා තියෙන්නෙ නිදහස් අවකාසෙ බැල්මට. ඒ බැල්මට යම්කිසි බාධාවක් ඇතිවෙනව නං ඇස් වහාම ඉදිරිය පේන වෙනත් දිහාවකට ඉබේම හැරෙනවා.
අර බස්සෙකේ වීදුරු තහඩුව අපේ අයියලා කළුපාට රෙද්දකින් වහලා තියෙන හින්දා ඒකට පිටිපස්සෙ ආසනේ වාඩිවෙලා ඉන්න කාට වුණත් සිද්ධ වෙන්නෙ ජනෙල් කවුළුවෙන් එළිය බලාගෙනම  ගමන යන්න. ඒක බෙල්ල කොරවෙන වැඩක්. දේවයන් වහන්ස.
අපේ අයියලා හිතන්නේ අර වීදුරු තහඩුව තියෙන්නෙ පින්තූර රාමු කරන්න හදලා එවපු එකක්ය කියලා.  මෝඩ හැත්ත. ඒ වීදුරු තහඩුව වහගෙන ඉන්නෙ හරියට බස්සෙකේ ඩ්‍රැයිවර් කුපාඩි කමක් කරනව වගේනෙ දේවයන් වහන්ස. මුන් සේරටම ඒ වීදුරු තහඩුව වහපුඑකේ ආදීනව කියා දෙන්න දේවයන් වහන්ස.

අපි මූදු වෙරළට යන්නෙ සිතිජය දිහා ඇතිතරංවෙලා බලාන ඉන්න නොවැ. අපි කැලේ අලියෙක් දිහා බලාන ඉන්නෙත් ඇස් බැල්ම නිදහසේ තියාගන්න නොවැ. ගෙදර සාලෙ පුටු තියෙන්න ඕනෑත්  ඉඳගන්න එන අමුත්තන්ට කරදරයක් නැතිව නිදහසේ ඇස් බැල්ම තියෙන්නනොවැ. ඇස් බැල්ම බිත්තිවල හැප්පෙන ගෙවල්වල තියෙන පුටුවල ඒ ගෙදර අයවත් වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්නෙ නෑ නොවැ.

Wednesday, 28 June 2017

හැබෑ ආදරේ


කොන්දේසි විරහිත පරිත්‍යාගෙ දේවයන් වහන්ස..

මේ ලෝකෙ ජීවත්වෙන අපි හැමෝමගෙම පැවැත්ම රැඳිල තියෙන්නෙ කෑමබීමෙත්, හුකනඑකෙත් කියනේක ඔබ වහන්සේ දන්නෙ නැතුවෑති මයෙ හිතේ.
එහෙම තමයි, සමාජ විද්‍යාඥයො කියන්නෙ. ගෑනියෙක් මිනිහෙක්ව කසාද බැන්දම අපි ඒකට යුගජීවිතය කියල කියනව. යුග ජීවිතේදි පුළුවන් තරම් හැමනෙනව. හැමනිලා..හැමනිලා කොහොමහරි දරුවෙක් බලාපොරොත්තු වෙනව. කල්යල් බලා හැමනුණාම ළමයි හම්බ වෙනව. මේ ඊනියා ධනේශ්වර සමාජෙ පවුල දරුවො දෙන්නෙකුට සීමා කෙරෙනව. ළමයි හම්බවීම සීමා කෙරුවට අර හැමනිල්ල  නං සීමා වෙන්නෙ නෑ. ඒක යාවත්කාලීන වෙවී දිගටම කෙරෙනව එල්ලයක් නැතුවම. ඒක කෙරෙනකම් ගෑනිගෙ ආදරේ මිනිහට නොඅඩුව ලැබෙනව.
ඇත්තමයි දේවයන් වහන්ස...
හැමනිල්ල මොන හේතුවකට හරි නතරවුණු දවසෙ ඉඳලා පවුලේ සාමය දියාරු වෙලා යනව.මෙහෙම කාලයක් ගතවෙනකොට අර දරුවොත් තාත්තව ගණන්ගන්නෙ නැති වෙනව. දානය, ප්‍රියවචනය, අර්ථචරියාව සහ සමානාත්මතාව කියන සංග්‍රහ සේරම අන්තරස්දාන වෙලා යනව.
ගෑනුන්ට ආදරේ නියම තේරුම කියා දෙන්න දේවයන් වහන්ස. ඒක තමයි කොන්දේසි විරහිත පරිත්‍යාගය කියන්නෙ. ඒක හරියට සාලිය අසෝකමාලා වගේ වෙන්න පුළුවන්...


කට්ටලේ..

අංගජාත කට්ටලේ...

වැඩට යන්න කියලා පාරෙ දුවන ප්‍රයිවෙට් බස්සෙකක නැග්ගා. සෙනඟ පිරිලා. කට කපලා. පුට්බෝඩ්ඩෙකට පය තිවුවා විතරයි නැග්ග අය සල්ලි දෙන්න කියලා කොන්දොස්තර කොල්ලා සෙනග මැද්දෙ ඉඳන් මොර දෙන්න පටන්ගත්තා. දේවයන් වහන්ස..  ඒ කොන්දා කොලූට නැග්ග එකා මොකා වුණත් කාරි නෑ. සල්ලි විතරයි නෙ ඕන..
ඉතිං මාත් සෙනඟ මැද්දෙ තෙරපෙන්න ගත්තා. හුස්මක්කටක් ගන්න බැරුව හිටපු මට ළඟම තියෙන සීට්ටෙකේ කොනක් හම්බ වුණා වාඩි වෙන්න වාසනාව පෑදිලා.

මං ඒ සීට්ටෙකේ වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන් මට එහා පැත්තෙ වාඩිවෙලා හිටපු වයසක  මහත්තයා මාව ටිකෙන්ටික තල්ලු කරන්න පටන්ගත්තා. මං උන්දැගේ මූණ බැලුවා. උන්දෑ මගේ මූණත් බැලුවා. ඒ වුණාට කිසි කතාවක් බහක් නෑ. ආයෙ තල්ලුව එනවා.  මං කිසි දෙයක් නොකියා උන්දෑ ඉන්න හැටි බැලුවා. ඉන්නෙ බූරු ඇඳ වගේ කකුල්දෙක පළල් කරගෙන. මගේ කල්පනාවට ආවෙ පිරිමි දෙන්නෙකුට බස්සෙකේ ඉඩ මදිවෙන හේතුව. ඒ කිවුවෙ හැම පිරිමියෙක්ම කොහේ වාඩිවුණත් තමන්ගේ අංගජාත කට්ටලේ බේරගෙන තමයි වාඩි වෙන්නෙ. ඒක තැළෙනව පොඩිවෙනවට මොන පිරිමියාද කැමැති. හැබෑට දේවයන් වහන්ස.. පිරිමි දෙන්නෙක් එක  පුංචි සීට්ටෙකක වාඩි වෙනවා නං එක පිරිමියෙකුට සිද්ධ වෙනවා තමන්ගේ අංගජාත කට්ටලේ පොඩි පට්ටම් වුණත්  කකුල්දෙක  ළංකරං තද කරං ඉන්න. එතකොට නං සීට්ටෙකේ ඉඩ ඇති වෙනවා. එහෙම නැත්නම්.. ඒ සීට්ටෙකේ ගෑනියෙකුටයි පිරිමියෙකුටයි නං ඉඩ තියෙනවා. මේ කතාව හුඟාක් දෙනෙකුට තාමත් තේරෙන්නෙ නැත්තෙ මොකද දේවයන් වහන්ස.